ආයතනය පිළිබඳ මුලික හැඳින්වීම.
ළමා පරපුර යනු රටක ඉදිරි සංවර්ධන කාර්යයේ හා සමාජීය අභිවෘද්ධියේ මූලික සාධකයක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් ළමා පරපුර හා බැඳුණු යහපත් හෝ අහයපත් යම් කිසි ක්රියාදායක් වෙතත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැඩිහිටි අප කාගෙත් යුතුකමකි. පිළිගත් සාරධර්ම, සිරිත් විරිත් හා සම්මතයන් අනුවත්, පනවාගත් නීතිරීත් අනුවත් කටයුතු කිරීම සියලු සමාජයන්හී අපේක්ෂාවයි. අපේක්ෂාවන් සපිරුණු සමාජයක ජීවත්වීම පුද්ගල පැතුමයි. සමාජයේ පුද්ගලයන්ගේ අන්නෝන්‍ය ක්රියාකාරීත්වයන් එක් එක් පුද්ගලයාගේ ක්රියාකාරීත්වයන් සමාජයම කෙරෙහි සෘජුව මෙන්ම පෞද්ගලික බලපෑමක් ඇති කරයි. එබැවින්, ක්‍රියාකාරකම්වල කළමනාකරණයක් පැවැතීම අවශ්‍යවේ. එම නිසා සමස්ථ සමාජයෙහි වගකිව යුත්තෝ එම තත්වයන් කළමනාකරණය කරනු ලබන්නෝ වෙති. මෙම දෙපාර්තමේන්තුවේද එවැනි වගකීම් දරණ දෙපාර්තමේන්තුවක් වන අතර ළමාරක්ෂක විෂයට අදාල කාර්ය භාර්ය මෙම දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.
යම් පුද්ගල හැසිරීම් ඒ ඒ සමාජ ක්‍රමයට අනුගතව ක්‍රියාත්මක නොවන අවස්ථාවන් වලදී එකී චර්යාවන් සමාජ හිතකර ආකාරයෙන් සකස් කිරීමට සහ සමාජ හිතකාමී චර්යාවන් වැඩි දියුණු කිරීමට දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. වරදකරුවන් සිරගත කිරීමට පමණක් වෙනුවට ඔවුන් ප්‍රජාව තුළම රඳවා සමාජයට යාවත්කාලීනව අනුගත කර ගන්නට “පරිවාස සේවාව” ආරම්භ වී ඇත.
තීති ගරුක ප්‍රජාවක් සුරක්ෂීත ළමා පරපුරක් පළාත තුල බිහිකිරීමේ මුලික පරමාර්ථය ඇතිව පිහිටුවන ලද උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව තම අරමුණු හා කාර්ය භාර්ය තිරසර සංවර්ධන අරමුණු හා ගලපා ගනිමින් එම අරමුණු ඉටුකර ගැනීම සඳහා සුවිශාල කාර්ය භාර්යක් පළාත තුළ ඉටු කරනු ලබයි.
ඉතා සංකීර්ණ මෙන්ම සංවේදී විෂය පරාසයක් ඔස්සේ දිව යන මෙම දෙපාර්තමේන්තු කාර්ය භාර්ය ජනතාව තුළට සමීප කරනුවස් උතුරු මැද පළාත තුල පිහිටි අධිකරණ කලාප 09 ක් තුළ පරිවාස කාර්යාල පිහිටුවමින්, තම සේවාව පළාත පුරා ක්‍රියාත්මක කරමින්, ජනතාව වෙත ඵලදායි සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. පළාත පුරා පිහිටුවා ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රමාණය 15 ක් වන අතර, දෙපාර්තමේන්තු කළමණාකාරීත්වය යටතේ ආයතන 08 ක් හා ස්වේච්ඡා සංවිධාන කළමනාකාරීත්වය යටතේ ආයතන 07 ක් පවත්වාගෙන යනු ලැබේ.
පවුල තුල අනාරක්ෂිත වන දරුවාගේ සිට නීතීයේ රැහැනට හසුවන බාල වයස්කාර දරුවා දක්වා වූ සියලු දරුවන් අවධානමෙන් මුදවාගෙන සමාජයට වැඩදායි යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම හා නිවාසගත වීමට හේතුවන කාරණා හදුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීම මෙම දෙපාර්තමේන්තු කාර්යයන් අතරින් ප්‍රමුඛතම කාර්ය වේ.
පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය පෙර පැවතියේ බන්ධනාගාරය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේය. දිනපතා සීඝයෙන් වර්ධනය වන පරිවාස හා ළමාරක්ෂක කටයුතු වලට සම්බන්ධිත ගැටළු සාර්ථකව විසදා ගැනීමට වෙනමම දෙපාර්තමේන්තුවක අවශ්‍යතාවය උද්ගත විය. මෙම අඩුපාඩු පිළිබඳව එවකට පැවති සාපරාධී අධිකරණ කොමිෂමේ විශේෂ අවධානය යොමු විය. එහි නිර්දේශයන්හි බලපෑම ගැන සලකා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා අධ්‍යාපන හා අධිකරණ යන අමාත්‍යාංශ එක්ව ඒ සඳහා වන සාකච්ඡාවක් 1951 වසර අවසානයේ පවත්වන ලදි. එහිදී ළමා ආරක්ෂක සේවාවන් ක්‍රියාත්මක කිරීමට වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට එකඟතාවයකට එලබ ඇත. මෙම එකඟතාවයේ ප්රථිඵලයක් ලෙස ලන්ඩන් නගරයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන සිරිල් හැම්ලි මහතා ඉහත යොජනාව පරික්ෂා කර බැලීමට පත් කර, ශ්‍රී ලංකාවට එවන ලදි. ඔහු විසින් 1952 දී ඉදිරිපත් කරන ලද ලියවිල්ලක ඇතුළත්, ළමයින් සඳහා වූ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සම්බන්ධ යෝජනා සලකා බලා 1956 ඔක්තෝබර් 01 දින ජාත්‍යන්තර ළමා දිනයේදී ළමා ආරක්ෂක/ සුභ සාධන දෙපාර්තමේන්තුව යනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට කටයුතු කර ඇත. ඒ අනුව එතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවති පරිවාස සේවාව ඉන් ඉවත් කර ළමා ආරක්ෂක/ සුභ සාධන සේවා දෙපාර්මේන්තුවට එකතු කර 1956 ඔක්තෝබර් 01 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස වෙනම දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ළමා ආරක්ෂණ සේවාව සමඟ පරිවාස සේවාව සම්බන්ධ කිරීමට ප්‍රධාන සාධකයක් වූයේ සිරිල් හැමිලි මහතාගේ යෝජනාවන්ය. එ් අයුරින් ආරම්භ කළ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව 1988 වසරේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වාම මධ්‍යම රජයේ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය වූ අතර සහකාර කොමසාරිස් කාර්යාල බල ප්‍රෙද්ශ මට්ටමින් පත් කරන ලද සහකාර කොමසාරිස්වරුන් යටතේ පරිවාස කාර්යාල හරහා තම සේවාවන් ජනතාව වෙත ලගා කරවීම සිදු විය. පළාත් සභා පරිපාලනය ආරම්භ වීමත් සමඟ පූර්ණ ලෙස විමධ්‍යගත විෂයක් ලෙස පත් වූ පරිවාස හා ළමාරක්ෂක විෂය පළාත් අමාත්‍යාංශයක් යටතේ පළාත් පරිවාස කොමසාරිස්වරයෙක් හරහා සිදු කරනු ලබයි.
