පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
උතුරු මැද පළාත තුළ නීතිගරුක ප්‍රජාවක් සහ සුරක්ෂිත ළමා පරපුරක් බිහිකිරීම උදෙසා කැපවූ සේවාව.
අප පිළිබඳව
දෙපාර්තමේන්තු හැඳින්වීම
ළමා පරපුර යනු රටක ඉදිරි සංවර්ධන කාර්යයේ හා සමාජීය අභිවෘද්ධියේ මූලික සාධකයක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් ළමා පරපුර හා බැඳුණු යහපත් හෝ අයහපත් යම් කිසි ක්‍රියාදාමයක් වෙතත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැඩිහිටි අප කාගෙත් යුතුකමකි.
පිළිගත් සාරධර්ම, සිරිත් විරිත් හා සම්මතයන් අනුවත් පනවාගත් නීතිරීති අනුවත් කටයුතු කිරීම සියලු සමාජයන්හි අපේක්ෂාවයි. අපේක්ෂාවන් සපිරුණු සමාජයක ජීවත්වීම පුද්ගල පැතුමයි. සමාජයේ පුද්ගලයන්ගේ අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයන් සහ එක් එක් පුද්ගලයාගේ ක්රියාකාරීත්වයන් සමාජය කෙරෙහි සෘජුව මෙන්ම පෞද්ගලිකවද බලපෑම් ඇති කරයි. එබැවින් ක්‍රියාකාරකම්වල කළමනාකරණයක් පැවතීම අවශ්‍ය වේ. එම නිසා සමස්ත සමාජයෙහි වගකිව යුත්තෝ එම තත්ත්වයන් කළමනාකරණය කරනු ලබන්නෝ වෙති.
මෙම දෙපාර්තමේන්තුවද එවැනි වගකීම් දරන දෙපාර්තමේන්තුවක් වන අතර ළමාරක්ෂක විෂයට අදාළ කාර්යභාරය මෙම දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. යම් පුද්ගල හැසිරීම් ඒ ඒ සමාජ ක්‍රමයට අනුගතව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී එකී චර්යාවන් සමාජ හිතකර ආකාරයෙන් සකස් කිරීමට සහ සමාජ හිතකාමී චර්යාවන් වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.
වරදකරුවන් සිරගත කිරීමට පමණක් සීමා නොවී ඔවුන් ප්‍රජාව තුළම රඳවා සමාජයට යාවත්කාලීනව අනුගත කරගැනීමට “පරිවාස සේවාව” ආරම්භ වී ඇත. නීතිගරුක ප්‍රජාවක් සහ සුරක්ෂිත ළමා පරපුරක් පළාත තුළ බිහිකිරීමේ මූලික පරමාර්ථය ඇතිව පිහිටුවන ලද උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව තම අරමුණු හා කාර්යභාරය තිරසර සංවර්ධන අරමුණු හා ගළපා ගනිමින් එම අරමුණු ඉටුකර ගැනීම සඳහා සුවිශාල කාර්යභාරයක් පළාත තුළ ඉටු කරනු ලබයි.
ඉතා සංකීර්ණ මෙන්ම සංවේදී විෂය පරාසයක් ඔස්සේ දිව යන මෙම දෙපාර්තමේන්තු කාර්යභාරය ජනතාව වෙත සමීප කරනු වස් උතුරු මැද පළාත තුළ පිහිටි අධිකරණ කලාප 09ක් තුළ පරිවාස කාර්යාල පිහිටුවමින් තම සේවාව පළාත පුරා ක්‍රියාත්මක කර ජනතාව වෙත ඵලදායි සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.
පළාත පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන අතර, දෙපාර්තමේන්තු කළමනාකාරීත්වය යටතේ ආයතන 08ක් හා ස්වේච්ඡා සංවිධාන කළමනාකාරීත්වය යටතේ ආයතන 07ක් පවත්වාගෙන යනු ලැබේ.
නිවාසගත වීමට හේතුවන කරුණු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීමද මෙම දෙපාර්තමේන්තු කාර්යයන් අතර ප්රමුඛ වේ.
ඓතිහාසික පසුබිම
පරිවාස හා ළමාරක්ෂක සේවාවේ ආරම්භය
පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය පෙර පැවතියේ බන්ධනාගාර හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේය. දිනපතා සීඝ්රයෙන් වර්ධනය වන පරිවාස හා ළමාරක්ෂක කටයුතුවලට සම්බන්ධ ගැටලු සාර්ථකව විසඳා ගැනීමට වෙනමම දෙපාර්තමේන්තුවක අවශ්‍යතාවය උද්ගත විය. මෙම අඩුපාඩු පිළිබඳව එවකට පැවති සාපරාධී අධිකරණ කොමිෂමේ විශේෂ අවධානය යොමු විය.
එහි නිර්දේශයන්හි බලපෑම සලකා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා අධ්‍යාපන සහ අධිකරණ අමාත්‍යාංශ එක්ව ඒ සඳහා සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී ළමා ආරක්ෂක සේවාවන් ක්‍රියාත්මක කිරීමට වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට එකඟතාවයකට එළඹ ඇත.
මෙම එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස ලන්ඩන් නගරයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන සිරිල් හැම්ලි මහතා ඉහත යෝජනාව පරීක්ෂා කර බැලීමට පත් කර ශ්‍රී ලංකාවට එවන ලදි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ලක ඇතුළත්, ළමයින් සඳහා වූ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සම්බන්ධ යෝජනා සලකා බලා 1956 ඔක්තෝබර් 01 දින ජාත්‍යන්තර ළමා දිනයේදී ළමා ආරක්ෂක/සුභසාධන දෙපාර්තමේන්තුව යනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට කටයුතු කර ඇත.
ඒ අනුව එතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවති පරිවාස සේවාව ඉන් ඉවත් කර ළමා ආරක්ෂක/සුභසාධන සේවා දෙපාර්තමේන්තුවට එකතු කර, ඔක්තෝබර් 01 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස වෙනම දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ළමා ආරක්ෂණ සේවාව සමඟ පරිවාස සේවාව සම්බන්ධ කිරීමට ප්‍රධාන සාධකයක් වූයේ සිරිල් හැම්ලි මහතාගේ යෝජනාවන්ය.
එම අයුරින් ආරම්භ කළ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වාම මධ්‍යම රජයේ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය වූ අතර, සහකාර කොමසාරිස් කාර්යාල බලප්‍රදේශ මට්ටමින් පත් කරන ලද සහකාර කොමසාරිස්වරුන් යටතේ පරිවාස කාර්යාල හරහා තම සේවාවන් ජනතාව වෙත ළඟා කරවීම සිදු විය.
පළාත් සභා පරිපාලනය ආරම්භ වීමත් සමඟ පූර්ණ ලෙස විමධ්‍යගත විෂයක් බවට පත් වූ පරිවාස හා ළමාරක්ෂක විෂය පළාත් අමාත්‍යාංශයක් යටතේ පළාත් පරිවාස කොමසාරිස්වරයෙකු හරහා ක්‍රියාත්මක කරනු ලබයි.